Saturday, January 14, 2017
ලංකාවේ අන්තර්ජාල භාවිතය
Currents වෙසෙස් අදහස් කතා-බස් රත්තරං ටික කෙටියෙන් ඔමරි ඔත්තු කට කොකියනවට BoondiLets
වෙසෙස් බූන්දි ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය | විමසුමක්
Kumudu Priyankara | කුමුදු ප්‍රියංකර
බූන්දි, සෙනසුරාදා, නොවැම්බර් 26, 2011 17:04:40
 අන්තර්ජාලයේ මූලාරම්භය 1960 දක්වා විහිදී ගිය ද එහි ලෝක ව්‍යාප්ත ජාලය (www - World Wide Web) නමැති සංකල්පය මුල්වරට ඉදිරිපත්වන්නේ 1982 වසරේදීය. නමුත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දෙන්නේ 1990 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙනි. ලංකාව පුරා විහිදී ඇති අධ්‍යාපනික හා පර්යේෂක නියෝජිතයන් එකට එකතු කරමින් මෙම ව්‍යාපෘතිය ඇරඹුනි.
ලංකාවේ දැනට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ වන වන බවද එය සමස්ත ජනගහනයෙන් 14% ක් වන බව ලංකා බිස්නස් රිපෝට් (www.lbr.lk) සඳහන් කරයි. මොවුන්ගෙන් 46% ක් දෙනා අන්තර්ජාලයට පිවිසෙන්නේ ජංගම දුරකතන මගින් වන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
අන්තර්ජාලය සම්බන්ධතා පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත ගෙන බැලීමේදී, එය අන්තර්ජාලය පරිහරණය කරන පිරිසට වඩා අඩු බවක් දැක ගත හැකිය. එසේ වීමට හේතුව එක් සම්බන්ධතාවයක් හරහා කිහිපදෙනෙකු අන්තර්ජාලයට පිවිසෙන බැවිනි. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව 2010 දක්වා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ දත්ත සටහන පහත දැක්වේ.

source:internetworldstats.com
එම සටහනට අනුව, 2007 න් පසු ගතවූ කාලය තුල අන්තර්ජාලය වේගයෙන් ව්‍යාප්ත වීම සිදු වී ඇති අතර 2010 වර්ෂයේදී වැඩිම වර්ධන වේගයක් සටහන් කරමින් ලක්ෂ 6 කට වැඩි පිරිසක් අළුතෙන් සම්බන්ධතා ලබාගෙන ඇත.
විකිපීඩියා (www.wikipedia.com) වෙබ් අඩවිය විසින් රටේ ජනගහනයට අනුව අන්තර්ජාලය භාවිත කරන සංඛ්‍යාව පෙළ ගස්වා ඇති සටහනට අනුව ලංකාවට හිමිව ඇත්තේ 137 වන ස්ථානයයි. ලංකාව සහ තවත් රටවල් කිහිපයක අන්තර්ජාලය භාවිත කිරීමේ ප්‍රමාණයන් පිළිබඳ පහත සටහන මගින් අන්තර්ජාල සිතියමේ ලංකාවේ තත්වය අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇත.

අන්තර්ජාලයට පිවිසෙන්නේ කුමක් සඳහාද?
ආරම්භයේදී ඊමේල් යැවීම, තොරතුරු ලබා ගැනීම, වෘත්තිමය අවශ්‍යතා සඳහා ආදී කරුණු කිහිපයකට සීමා වුවද වර්තමානය වන විට අන්තර්ජාලයට පිවිසෙන අරමුණු වඩා සංකීර්ණ වී ඇත. එම සංකීර්ණත්වය විග්‍රහ කළ නොහැකි තරම් පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිරී ඇත.
ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන්නේ කුමක් සඳහාද යන කාරණය සෙවීම සඳහා වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 200 ඇසුරින් කරන ලද අධ්‍යයනයකදී හෙළිවූයේ අන්තර්ජාලයට බහුතරයක් දෙනා පිවිසෙන්නේ ව්‍යාපාරික තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට බවයි. එය සෑම පස්දෙනෙකුටම එක් අයකු (19.5%) ලෙසින් වාර්තා වේ. දේශීය හා අන්තර්ජාතික ව්‍යාපාරික ආයතන හා සමාගම් සඳහා ඇති වෙබ් අඩවි මෙම කාණ්ඩයට ඇතුළත් විය. ඊළඟට වැඩිම පිරිසක් (17.5%) අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ පුවත් ලබා ගැනීමේ අදහසිනි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා නොකරන පුවත් ලබා ගැනීමට හැකි වීමත්, පුවත් ඉක්මනින් හා පහසුවෙන් අඩු පිරිවැයකින් ලබාගැනීමට හැකි වීමත්, පුවත් සඳහා වැඩි ඉල්ලුමක් අන්තර්ජාලයේ ඇති වීමට හේතු වී ඇත.
භාගත කිරීම (download) හා ගොනු හුවමාරුව (file sharing) කිරීමේ අරමුණින් තෙවන වැඩිම පිරිස (15%) අන්තර්ජාලය හා සම්බන්ධවන බව දැකිය හැකිය. නොමිලේ ලබාදෙන මෘදුකාංග, වීඩියෝ හා ටොරන්ට් භාගත කිරීම් සඳහා සුවිශේෂි ඉල්ලුමක් ඇති බව දැකිය හැකිය. ගූගල් ප්‍රධාන සෙවුම් යන්ත්‍ර (search engines) භාවිත කරමින් හා වෙනත් තොරතුරු ලබා ගැනීමට ඇති වෙබ් අඩවි භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ අරමුණින් ඊළඟට වැඩිම පිරිසක් (11%) අන්තර්ජාලය හා සම්බන්ධ වන බව දැකිය හැකිය. අන්තර්ජාලයට පිවිසෙන සෑම දහදෙනෙකුගෙන් එක් අයකුම (10%) විනෝදාත්මක කටයුතු සඳහා අන්තර්ජාලය පරිහරණය කරන්නන් වේ. පරිගණක ක්‍රීඩා, ගීත ශ්‍රවණය වැනි විනෝදාස්වාදය සඳහාම ඇති වෙබ් අඩවි මෙම කාණ්ඩයට අයත් විය.
මේ අතර අධ්‍යාපන කටයුතු වල නියැලීමේ අරමුණින් අන්තර්ජාලයට පිවිසෙන සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි නැරඹීමටම අන්තර්ජාලය භාවිත කරන බව දැකිය හැකිය. එය සංඛ්‍යාත්මකව වෙබ් අඩවි 10 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 5% ක් බැගින් වේ. මෙහි සුවිශේෂත්වය වන්නේ අසභ්‍ය යැයි පවසා උසාවි නියෝග ලබාගෙන පුළුල් ප්‍රචාර දෙමින් කලක් දිනකට 50-60 වෙබ් අඩවි තහනම් කිරීමයි. එමගින් සිදුවූයේ එම වෙබ් අඩවි වල ලිපිනයන් ව්‍යාප්ත වීම තුළ තවත් ඒවා ජනප්‍රිය වීම පමණි. එසේම ලොකුම හාස්‍යය වන්නේ හරසුන් තර්ක ගෙන එමින් පුවත් අඩවි වාරණයට ලක් කරද්දී ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි තවදුරටත් නිදහසේ ක්‍රියාත්මක වීමයි.
ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ ජාල සමග සම්බන්ධ වීමට මෙන්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ අරමුණින් සමාන පිරිසක් (4.5% බැගින්) අන්තර්ජාලයට පිවිසෙන බව පැහැදිලි වේ. අන්තර්ජාලයට පිවිසෙන අනෙත් අයගේ අරමුණු අතර බ්ලොග් ලිවීම හා කියවීම (2.5%), භාණ්ඩ මිලදී ගැනීම (2%), සන්නිවේදනය (2%) දැක්විය හැකිය. ප්‍රධානම ෆ්‍රොක්සි වෙබ් අඩවි දෙකක් මේ අතර තිබීම සුවිශේෂි කරුණක් ලෙස දැකිය හැකිය. මෙයට හේතුවක් ලෙස වාරණයට ලක් වූ වෙබ් අඩවි සඳහා පිවිසීමට මෙම ෆ්‍රොක්සි වෙබ් අඩවි යොදා ගැනීම යැයි අනුමාන කළ හැකිය.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කිරීමේ අරමුණු ප්‍රතිශතයක් ලෙස

ශ්‍රී ලංකාවේ හා ලෝකයේ අන්තර්ජාලය භාවිත කිරීමේ අරමුණු
සන්සන්දනාත්මක ප්‍රතිශතයක් ලෙස
අන්තර්ජාලය භාවිතය පිළිබඳ විශ්ලේෂණය කරනු ලබන ඇලෙක්ෂා (www.alexa.com) වෙබ් අඩවියට අනුව ලංකාවේ වැඩිම පිරිසක් අන්තර්ජාලයට පිවිසෙන්නේ ෆේස්බුක් (www.facebook.com) වෙබ් අඩවිය සඳහා වන අතර එය ආසන්න වශයෙන් මිලියන 1.13 ක් පමණ වේ. තොරතුරු ගවේෂණය පිණිස, ලංකාව සඳහා වන ගූගල් (www.google.lk) වෙබ් අඩවිය දෙවන වැඩිම පිවිසුමක් වාර්තා කරන අතර ගූගල් (www.google.com) වෙබ් අඩවිය තෙවන වැඩිම පිවිසුමක් වාර්තා කරයි. වීඩියෝ නැරඹීම සඳහා ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ් (www.youtube.com) වැඩිම පිවිසුම් ඇති ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව ඇත. ඊමේල් ඇතුළු තවත් සේවා නොමිලයේ ලබාදෙන යාහු (www.yahoo.com) වෙබ් අඩවිය 5 වන ස්ථානයේත් බ්ලොග් සඳහා වන බ්ලොගර් (www.blogspot.com) වෙබ් අඩවිය 6 වන ස්ථානයෙත් රැඳී ඇත. හත්වන ස්ථානයට වැඩිම පිවිසුමක් වාර්තා කරන්නේ විකිපීඩියා (www.wikipedia.org) වෙබ් අඩවියයි. එම වාර්තාවට අනුව ගොසිප්ලංකානිවුස් (www.gossiplankanews.com) වෙබ් අඩවිය වැඩිම පිවිසුම ඇති වෙබ් අඩවි ලැයිස්තුවේ 8 වන ස්ථානයේ ඇති අතර එය වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 10 ට අයත්වන එකම ලාංකික වෙබ් අඩවියයි. ක්‍රිකට් තොරතුරු දැන ගැනීම සඳහා වන ක්‍රික්ඉන්ෆෝ (www.cricinfo.com) වෙබ් අඩවිය 9 වන ස්ථානයේ ඇති අතර ක්‍රීඩා තොරතුරු ලබා ගැනීම සඳහා අන් කිසිදු වෙබ් අඩවියක් වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 200 දක්වා වාර්තා නොවීම විශේෂත්වයකි.

ලෝකය පුරා වැඩිම පිවිසුමක් වාර්තා කරන වෙබ් අඩවි 10 අතුරින් 6 ක්ම ලංකාවේද වැඩිම පිවිසුමක් ඇති වෙබ් අඩවි වන බව දැකිය හැකිය. ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් අඩවිය ගූගල් වන අතර එහි දිනක පිවිසුම් ප්‍රමාණය මිලියන 253 පමණ වේ.
වෙබ් අඩවි වර්ගීකරණයට ලක් කිරීමේදී සමහර වෙබ් අඩවි සේවාවන් රැසක් සළසන නිසා වඩාත් ජනප්‍රිය සේවාව මත වර්ගීකරණයට ලක් කළ බව සැළකිය යුතුය. 
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment